තමන්ගේ ගුණ සඟවා ගමු 🙏


අද කියන්න හදන්නෙ විශේෂ කාරණයක්. ඒක මෙහෙම පටන් ගමු. අපේ ලග තියෙන ස්වර්ණාභරණ ආදී වටිනා භාණ්ඩ අපි කොහේද තියල තියෙන්නෙ? ඉතා පරිස්සම් ආරක්ෂාකාරී තැනක නේද? ඒව ගෙදර කාටත් පේන තැන්වල තියල නෑ නේද? ගෙදරට එන හැම කෙනාටම පෙන්නන්නෙ නෑ නේද?

   අන්න ඒ වගේමයි. ඊටත් වැඩිය ආරක්ෂා කර ගත යුතු දෙයක් තියෙනව සැගවිය යුතු දෙයක් තියෙනව. ඒ තමයි අපි යම් ගුණ ධර්මයක් පුරුදු කරනවද ඒ ගුණ ධර්ම. මොනවද ඒ ගුණධර්ම? උදාහරණයක් කිව්වොත් අපි යම් උසස් සීලයක් රකිනවනම්, භාවනාවක් පුරුදු කරනවනම්, ඉවසීම වගේ ගුණයක් පුරුදු කරනවනම් මෙන්න මේවට තමයි ගුණ ධර්ම කියන්නෙ.

   කොහොමද අපි අපේ ගුණධර්ම ආරක්ෂා කරගන්නෙ? සගවා තබා ගන්නෙ? ඒක මෙහෙමයි. ඔන්න අපි භාවනා මනසිකාරයක් පුරුදු කරනවා කියමු. අපි ඒ ගැන සාමාන්‍ය සමාජෙ කියව කියවන්න යන්නෙ නෑ. මම මේවගේ දෙයක් කරනව කියල හඬ නගා කියන්නෙ නෑ. එයා  ඒ ගුණය නිසා සාමාන්‍ය සමාජෙ කැපිල පේන්න යන්නෙ නෑ. ඒ ගුණය මුල් කරගෙන සමාජෙන් සැලකිලි ගන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. එයා සාමාන්‍ය කෙනෙක් වගේ සමාජයේ ජීවත් වෙන්නෙ. අන්න එහෙමයි තමන්ගෙ ගුණ සගවා ගන්නෙ.

    ඇයි එහෙම තමන්ගෙ ගුණ සඟවා ගන්නෙ? අපි මේ සංසාරේ යන උදවියනෙ. ගුණ ධර්ම පුරුදු කරනවා කියන්නෙ උඩුගං බලා යාම වගේ දෙයක්. අපි ගුණ ධර්ම පුරුදු කරනකොට ඒ ගුණ ධර්ම සමාජය දැනගන්නව කියන්නෙ ඒ ගුණ ධර්මයට මහා අනතුරක් වෙන්න පුලුවන්. කාට හරි හිතුනොත් මගේ මේ ගුණ ධර්මය මම සමාජෙට කියන්න ඕන කියල ඒ සිතුවිල්ල තුලම සමාජයෙන් සැලකිලි ප්‍රශංසා ලබන්න ඕන කියල හැගීමක් කාට උනත් එන්න පුලුවන්. ඒක අපිට අනතුරක්මයි. අපි ඉන්නෙ ගුණ ධර්ම නැති ලෝකෙක නිසා අපි පුරුදු කරන ගුණ ධර්ම මේ සමාජෙට විහිලුවක් වෙන්නත් පුලුවන්. ඒ තුලින් අපිව අපහසුතාවයට ලක්වෙන්න පුලුවන්. මේ වගේ පෙනෙන නොපෙනෙන ලෝකයෙන් බොහෝ අනතුරු එන්න හේතුවක් තමයි තමන්ගෙ ගුණ සමාජෙට ප්‍රකට කරන්න යාම කියන්නෙ.

  එතකොට තමන් පුරුදු කරන ගුණ ධර්ම සමාජෙට ප්‍රකට කරන්න එපා නං ඒ ගුණ ධර්ම පුරුදු කරද්දි ගැටළුවක් ආවොත් ඒක විසදගන්නෙ කොහොමද? ඒකට තමයි කල්‍යාණමිත්‍රයන් ඉන්නෙ. තමාට වඩා සීලයෙන් ගුණයෙන් වැඩි ධර්මය දන්න, ගුණ ධර්මයන්ට උපකාර කරන, ධර්මය කියා දෙන ස්වාමීන්වහන්සේ නමක් ලග හෝ ගිහි කෙනෙක් ලග ඔබ ඔබට විවෘත වන්න. සඟවා නොගෙන තමාගේ ගැටලු ප්‍රකට කරන්න. ගුණධර්ම පුරුදු කිරීමේදී එන ගැටළු සාකච්චා කරන්න.ඒ උතුමන් වහන්සේලා ඔබව හරි මගෙහි යොදවාවී.

  මෙන්න මෙහෙමයි තමන්ගෙ ගුණ සඟව ගන්නෙ. තමන්ගෙ ගුණ ආරක්ෂා කරගන්නෙ. ඔබටත් තමන්ගෙ ගුණ ආරක්ෂා කරගෙන දහම් මග පුරුදු කරන්න වාසනාව ලැබේවා🙏

Comments

Popular Posts