වී පැදුරෙන් ඉගිලී යන කුරුල්ලෙකු ලෙසින්


වී පැදුරෙන් ඉගිලී යන කුරුල්ලෙකු ලෙසින්
ඉගිල යන්න බෑ මට මියුලැසිය ඔබ ලඟින්..
වී පැදුරෙන් ඉගිලී යන කුරුල්ලෙකු ලෙසින්
ඉගිල යන්න බෑ මට මියුලැසිය ඔබ ලඟින්..

මේ පද පේලි ඇහෙනකොට අපේ හිතේ වී පැදුරකින් ඉගිලෙන කුරුල්ලෙකු මැවෙනවා. වී පැදුර කියන්නෙ කාට හෝ අයිති වී අස්වැන්නක් පැදුරක දමා වේලීමට තබා ඇති අයුරුයි. එයින් හැඟෙන්නේ මේ තරුණියද විවාහක කාන්තාවක් බව විය හැක. වී කාපු කුරුල්ලෙකු වී පැදුරකින් ඉගිල්ලෙන්නේ හරිම සැහැල්ලු සිතකිනි. කුරුල්ලාට සාමාන්‍යයෙන් වී පැදුර ගැන , හොරෙන් වී කාපු එක පිළිබඳ දුකක් දැනෙන්නේ නැත. කුසගින්න නිවීම පිළිබඳ සතුටක් කුරුල්ලාට ඇති වෙනවා. එය පමණමයි කුරුල්ලාට අවශ්‍යය. නමුත් ගීතයෙන් කියවෙන විදියට මොහුට නම් එහෙම නෑ. රාග ගින්නට එහා ගිය බැඳීමක් මොවුන්ට ඇත. ගීතයට අනුව මොහු ඇයට ආදරය කරයි. මොහු කාම රසයට පමණක් ඇලුණු බවක් නොහැඟේ. ඉතින් ඔහු කියනවා වී කාපු කුරුල්ලෙක් වගේ මට ඔයාගෙන් මිදෙන්න අමාරුයි කියලා. මට එහෙම ඔයාව අත ඇරලා දාලා යන්න බෑ මියුලැසියේ කියල තමයි කියන්නේ.

ඔබෙ දෙතොලේ - මොලකැටි බව
නාදුනන ලෙසින්..
නා දළු වැනි සුමුදු වෙතැයි
කියමිද කෙලෙසින්..
කියමිද කෙලෙසින්..

සාමාන්‍යයෙන් ලස්සන කාන්තාවක් දැක්කහම ඒක වර්ණනා කිරීම පිරිමින්ගේ සාමාන්‍ය සිරිතක්. තමන් ආදරය කරන කෙනා ගැන වර්ණනා කරන්න හැමෝම කැමතියි. නමුත් තරුණිය ගැන තරුණයාට කිසිදෙයක් කාටවත් කීමට නොහැකි බව මෙයින් කියැවේ. ඔවුන් ආදරය කරන්නේ රහසින් බව මෙයින් ගම්‍ය වේ. ඔහු කිසිම කෙනෙකුට ඒ තමන්ගේ පෙම්වතිය කියල නම් නැති වග අපිට මෙතනින් හිතාගන්න පුලුවන්.

ඔබේ සොඳුරු - මුව මඬලේ
කැළුම් මම දුටිමි..
පුරපස හඳ ඔබ පරදයි
කියමිද කෙලෙසින්..

මේ පද පෙළ තුළද ඇත්තේ තම අනියම් පෙම්වතිය ගැන මොහුට අනෙක් අය ඉදිරියේ වර්ණනා කිරීමට හැකියාවක් නැහැ. මොකද මේ ආදරය හොර රහසේ වෙන දෙයක් නිසා.

ඔබෙ ආදර - නිමල දියේ
සිහිලස ලද මං..
තිබහට බොර වූ වතුරක්
බොන්නද කෙලෙසින්..

මෙයා ඇගේ ආදර පහස විඳිනවා, ඒ වගේම ගීතයේ අවසානයේ කියවෙන "තිබහට බොර වූ වතුරක්
බොන්නද කෙලෙසින්" ලෙස ගීතයේ හඳුන්වන්නට උත්සාහ කරන්නේ ඔහුගේ නීත්‍යානුකූල බිරිඳ ගැන වෙන්නට පුලුවන්. ඇය මොහුට ආදරයක් නැති බව පෙනේ. ඔවුන්ගේ විවාහය සමහර විට යෝජිත විවාහයක් වෙන්න පුලුවන්. අපිට එතනින් හිතන්න පුලුවන් මොහු තමන්ගේ බිරිඳට එතරම් ප්‍රියයක් දක්වන්නේ නැති බව. ඒ නිසා බිරිඳගේ ආදරය බොර වතුරටත් අනියම් ආදරය නිමල දිය ලෙසත් ගීතයේ කියවෙනවා. එනම් ඔහුට අනියම් පෙම්වතිය දැඩිව අවශ්‍ය බව මෙයින් සැලවේ. කොච්චර තිබහක් තිබ්බත් මට ගෙදර තියෙන බොර වතුර බොන්න හිතෙන්නෙ නෑ ඔයා ළඟට ඇවිල්ලා නිමල දියක් බොන්නයි මම කැමති යන අරුත මෙයින් කියැවේ.

Click here





Comments

Popular Posts