ළමයා සහ ළමා අවධිය


ළමයා යනු වත්මන දිනන්නටත්, හෙට ලොව රකින්නටත් සිටින්නෙකි. එබැවින් ළමයා වනාහි කල්පනාවෙන් වැඩිය යුත්තෙකි. ප්‍රවේශමෙන් රැකිය යුත්තෙකි. ඒ හෙයින් ළමුන් විෂයෙහි නිර්මිත සියලු දෑ හි අවසන් අරමුණ වන්නේ යහපත් ලෝකවාසියෙකු නිර්මාණය කිරීමයි.

ළමයා ලෝකය දකින්නේ ද එය විවරණය කරන්නේ ද එයට අනුගතවන්නේ ද ඔහු අවට ඇති පරිසරය ඇසුරෙනි. නිරන්තර අවදියෙන් පසුවන ළමා මනස නව අත්දැමකීම් විඳගැනීම සඳහා වන නොනිත් කුතුහලයෙන් යුක්තය. පෙර නොදුටු නොවිඳි සියලු නැවුම් දේ වෙත ඔහු ක්ෂණයෙන් අවදානය යොමු කරයි. කෙනෙක් තුළ ජීවිත අරමුණු හා ආකල්ප ගොඩනැගෙන්නටත් ජීවන දැක්මක් ගොඩනැගෙන්නටත් ළමා වියෙහි ලද අත්දැකීම් බලපායි. ළමා සංවර්ධනයේදී ඔවුන්ට ලැබෙන අත්දැකීම් පිළීබඳව වැඩිහිටියන්ගේ මනා අවධානයක් යොමුවිය යුතුවන්නේ මේ නිසාය.

ළමයා ලොව දකින්නේත්, සංජානනය කරන්නේත් වැඩිහිටියාට වඩා වෙනත් ආකාරයකිනි. අසන, දකින, විඳින සියලු දේ පිළිබඳව ඔහු ස්වයං අධ්‍යපනයක යෙදෙයි. ඇතැම් දේ ගිජු ලෙස උකහා ගනියි. ඇතැම් දේ බැහැර කරයි. තමාට තුෂ්ඨිජනක දේ අනුකරණය කරයි. අත්දකින දේ ඔහුගේම ක්‍රමයකට ගවේශනය කරයි. ඕනෑම ළමයකු සතුව සහජයෙන් උරුම වූ විභව ශක්තීන් සමුදායක් තිලිණ තත්වයෙන් පවතී. ඒවා පුබුදු වීමට අවශ්‍ය සාධක හා උත්තේජක ලද ඇසිල්ලෙන් ඒවා විකසිත වෙයි. එහෙයින් ළමයාගේ අනාගත ජීවිතය හා ගමන්මග තීරණය වන්නේ වැඩිහිටියන් විසින් ඔහු වෙත තිලිණ කරනු ලබන හිතකර හෝ අහිතකර පරිසරය හා අත්දැකීම් ඇසුරෙනි.

Comments

Popular Posts