තාත්තා
පිය පදවිය ඔබ ලැබූ දා
මා මුව මුල් වර දුටු දා
ඔබේ මුහුණේ පිපි හසරැලි
සිතින් මවාගෙන ඉන්නෙමි
නව මසකට බැඳි සෙනෙහස
දෙනෙතින් එළි බට වෙන්නැති
නිම්හිම් නැති සෙනෙහසකින්
මා සියොළඟ සිප ගන්නැති
එදා පටන් මා රැක්මට
ඔබේ දිවිය දිය කළ හැටි
කළු කෙහෙරැලි තඹ වන තුරු
මා වෙනුවෙන් දිවි ගෙව් හැටි
වැටි වැටි මා දණ ගාද්දි
ආදරයෙන් උතුරන්නැති
කෙරුමට මා ලොකු මිනිහෙකු
සිතෙන් සිහින දළු ලන්නැති
ඔබ දුටු ලොව ඉක්මවලා
ඉහළින් මා වජඹන්නට
හෝඩිය මට ළං කරලා
දිව රෑ දෙක වෙහෙසෙන්නැති
නිදිබර නෙතු නොම නිදිකර
වෙහෙසුනු කය නොතකා ගෙන
හිත සවියෙන් මිරිකාගෙන
මා මුව දැක සැනසෙන්නැති
මා කර දඬු උස් වනවිට
ඔබෙ කය බල වැහැරෙන්නැති
ඔබේ තරුණ කම මට දී
ඔබ වියපත් කම ගන්නැති
මා වෙනුවෙන් හිත පුද දී
මා මත්තෙම ගත දන් දී
පුරන පාරමී තවමත්
නිම නැති බව දැන ඉන්නෙමි
දැක්මට ඔබෙ වත උදයම
තවමත් මා පිං කර ඇත
නමුත් දිනෙක මඟ එනු ඇත
පණ සුන් ගත සතපන්නට
සසර මඟදි හමුවූ පුවත
ඒ දවසින් නිම වනු ඇති
මතකයකට මුවා වෙලා
මා සැමදා දුක් වනු ඇති
Click here
Comments
Post a Comment