අම්මා


අනාරාධිත දිනක මොහොතක
අමුත්තෙකු ලෙස පැමිණි ඔබ වෙත
අරක් ගත්තද ඔබේ ගත සිත
කිසිත් නොකියා මහත් සෙනෙහෙන්
මෙමා පිළිගත් මගේ අම්මා

සසර හුරුවට කුසට ආ බව
සිතන විට මහ මෙරක් විලසට
ඔබේ කුස තුළ සිටන් මේ මම
අසා සිටියෙමි මහත් සතුටින්

කොහේ සිට කවදා කෙසේ මම
කුමට ආ දැයි කිසිත් නොවිමස
මෙතෙක් කල් ජීවිතය තුළ ලද
මහඟු තිළිණය මමය පිළිගෙන
ඔබේ ගත සිත මටම යොදවා
සැපක් මිස දුක නොදුන් අම්මා

නාඳුනන මා ඔබේ කරගෙන
පුරා දස මස දහස් දුක් විඳ
මෙමා රැකුයේ මහත් දිරියෙන්
දිනක මා මුව දකිනු රිසියෙනි

මිනිස් දුවකට ජීවිතය තුළ
විඳිය හැකි දරුණුතම දුක විඳ
මෙමා මෙලොවට බිහි කරන්නට
ජීවිතය දුන් මගේ අම්මා

මගේ හැඬුමට ප්‍රකම්පිත ගත
මගේ මුව දැක නැගුණු සෙනෙහෙන්
රක්ත රුධිරය ශ්වේතමය වී
මගේ කුසගිනි නිවූ අරුමය

තුරුළු කර මා ඇගේ ළමැදට
මහත් සෙනෙහෙන් මගේ මුව සිඹ
අලුත් ලොව තුළ තනි නොවන බව
පසක් කර වූ මගේ අම්මා

වැඩිවුණා මිස අඩුවුණේ නැත
දිනෙන් දින මා කෙරෙහ්හි සෙනෙහස
ඔබේ සාරය පුදා මා වෙත
හැදූ බව මා දනිමි අම්මා

තබා අත්පොත ඉදිරි දිවියට
හොඳ නොහොඳ මේ යැයි කියා මට
පවින් වළකා පිනෙහි පිහිට වූ
සරස්වතියයි මගේ අම්මා

අ යන්නෙන් ඇරඹුනා වූ ඒ
දැනුම සොයනා දිගු මාවතෙහි
අතින් අල්ලා මා රැගෙන ගිය
ගණ දෙවඟනයි මගේ අම්මා

කෙළි දෙලෙන් දිවි ගෙවූ කාලය
අවසානයට පැමිණි ඇති අද
කරට ගන්නට දිවිමඟේ බර
සුභාශිංසන දෙන්න අම්මා

මගේ ලොව හිරු සඳු ඔබම වේ
මගේ ලොව පිං කෙත ඔබම වේ
මගේ දිවිමඟ සරසවන්නට
පසුපසින් ආ දිරිය ඔබ වේ

ඔබට වැඩියෙන් වටින කිසිවෙක්
මෙලොව මට නැත මගේ අම්මේ
දිවි තිබෙන තුරු ඔබව රැක ගමි
කිරෙහි ගුණ සලකන්ට අම්මේ

Click here

Comments

Popular Posts